Founder's Message




“Our teacher, the Buddha has taught that birth as a human being is, indeed, a very rare achievement. Fortunately, we have now obtained that rare achievement. Yet, we have to remember that man’s greatness does not lie either in his nationality, cast, clan or any such feature. His greatness depends solely on his conduct. Man’s experiencing of happiness and suffering, too, is related to his three modes of action, namely mental, verbal and physical action

The Buddha devoted all his life to save man from dukkha-suffering. We are followers of the Buddha and our fervent hope is to see a world full of people who are freed from dukkha.

Mankind’s wonderful treasure of wisdom is the Teaching of Buddha.The doctrine illuminates our lives bringing happiness and joy. Go in search of this wonderful Dhamma your self, lead your life accordingly, get rid of your suffering and join that fortunate band of people who experience the Supreme Bliss

A Message by, Ven Kiribathgoda Gnanananda Thero.



පින්වතුනි, පින්වත් දරුවෙනි,


අපගේ බුදුරජාණන් වහන්සේ මෙයින් වසර දෙදහස් පන්සියයකට පෙර මෙලොව පහළ වුණා. එකල ජීවත් වූ මිනිසා සත්‍යාවබෝධ කිරීමේ ආශාවෙන් යුතුව විවිධ දේවල් අනුගමනය කරමින් සිටියත් සැබැවින් ම ඔවුන් වාසනාවන්තයි. මක් නිසාද යත් සත්‍යය අවබෝධ කළ බුදුරජාණෝ ඔවුන් සොය සොයා ගොස් මේ විස්මිත සත්‍යය හෙළිදරව් කළා. එය ඇසූ ඔවුන් ඒ යුගයේ මුනිවරයන් බවට පත්වූයේ මුළු දඹදිව් තලයට ම ස්වර්ණමය යුගයක් උදා කරමින්. ජීවිතය පීඩාවට, අසහනයට, වේදනාවට, කලබලයට, දුකට පත් කරවන් යම් දෙයක් ඇද්ද, ඒ සියලු දෙයින් නිදහස් වෙන්නට ඔවුන් සමත් වුණා. බිය සැක රහිත වූ සිතින් ජීවත් වූ ඔවුන් ජීවිතයේ සියලු අභියෝගයන්ට සතුටින් මුහුණ දුන්නා. ඉපදෙන මැරෙන ලොවින් නිදහස් වුණා. ඔවුන් සතු වූ ප්‍රඥාව මෙකල මිනිසාගේ ප්‍රඥාවට වඩා වෙනස් වූයේ එය අලෞකික දෙයක් නිසාවෙනි. ඒ විස්මිත ප්‍රඥාව මිනිසා තුළ උපදවාලීම පිණිස බුදුරජුන් වදාළ දේශනා හඳුන්වන්නේ බුද්ධ ධර්මය නමිනුයි.

ලොවට අකාලික සත්‍යය දන් දුන් බුදුරජුන්ගේ පිරිනිවන් පෑමෙන් පසු සත්‍යාවබෝධ කළ නිකෙලෙස් මුනිවරු තම සත්‍යාවබෝධයට උපකාරී වූ ඒ ධර්මය මැනැවින් සංරක්ෂණය කළා. එය කරන ලද්දේ එකල භාවිත වූ මාගධී හෙවත් පාළි භාෂාවෙනි. ඒ නිකෙලෙස් මුනිවරු ධර්මදූතයන් ලෙස ලෝකයට රැගෙන ගියේ සත්‍යාවබෝධයට උපකාරී වූ උතුම් බුද්ධ වචනයයි. ධර්මාශෝක නිරිඳුන්ගේ ධර්මදූත සේවාවෙහි ඵලයක් ලෙසින් එතුමාගේ පුත්රුවන වූ මිහිඳු මහරහතන් වහන්සේ අපගේ මව්බිමට වැඩියේ ද ඒ නිර්මල බුද්ධ වචනය රැගෙන ය. උන්වහන්සේ විසින් එය ඒ අයුරින් ම එකල ජීවත් වූ අප මුතුන් මිත්තන්ට ඉගැන්නුවා. සත්‍යාවබෝධයට උපකාරී වන අලෞකික ජීවිතයක් පිණිස පැවිදි බව ද හඳුන්වා දුන්නා. ගිහි ජීවිතය ගෙවමින් බුදුරජුන්ගේ ශ්‍රාවකයන් බවට පත්ව ඒ ධර්මයට අනුව ජීවත්ව රැකවරණය සලසා ගත හැකි අයුරු පෙන්වා දුන්නා.

කාලයාගේ ඇවෑමෙන් ඇතිවන විවිධ ආර්ථික, සාමාජික, දේශපාලනික, අධ්‍යාපනික, ආගමික අර්බුද හේතුවෙන් ප්‍රායෝගිකව තිබිය යුතු එහි නිර්මල ස්වරූපය අතුරුදන්ව ගියා. නමුත් අපගේ වාසනාවකට මෙන් මිහිඳු මහරහතන් වහන්සේ අපට දායාද කළ ඒ නිර්මල බුද්ධ වචනය ඒ අයුරින් ම සුරැකී තිබුණා.

බුදු සසුනෙහි ප්‍රායෝගිකත්වය මෙසේ අතුරුදන්ව ගියත් මිනිසුන්ගේ සත්‍යය සෙවීමේ ආශාව අතුරුදන් වන්නේ නෑ. ගත කරන ජීවිතයට වඩා විශේෂ යමක් ලබා ගැනීමේ ආශාවෙන් ඔවුන් පෙළෙනවා. බුද්ධ කාලයේ තරම් ම සත්‍යය සෙවීම පිණිස ඔවුන් උනන්දු නැති නමුත් සත්‍යාවබෝධයට ආශාව දක්වන නුවණැති මිනිසුන් අද පවා සිටිනවා. මා සත්‍යය සෙවීමේ ආශාවෙන් පෙළෙමින් ඒ ධර්මය හැදෑරීම පිණිස මහත් වෙහෙසක් ගත්තා. මිහිඳු මහරහතුන් අපට දායාද කළ සියලුම බුද්ධ වචනය කියවන්නට තරම් මා වාසනාවන්ත වුණා. ලොවෙහි ඇති අතිශයින් ම විස්මිත ප්‍රඥාව වනාහී බුද්ධ ධර්මය යි. බුදුරජාණන් වහන්සේ සතු අසාමාන්‍ය ප්‍රතිභා ශක්තිය, මහා කරුණාව, ලොවට නොඇලී සිටීම, අලෞකික ජීවිතය, පවිත්‍ර මනස සහ බුද්ධිමය අනන්‍යතාව ඒ දේශනා තුළින් හොඳින් දිස්වෙනවා.

මින් දස වසරකට පෙර මවිසින් ‛මහමෙව්නාව’ යන නමින් මෙම දහම් සේවාව අරඹන ලද්දේ මිහිඳු මහරහතන් වහන්සේගේ සේවාව සිහි වීම පිණිස යි. ඉතා නිර්මල වූ බුදු වදන් ලොවට පවසන විට සත්‍ය සෙවීමේ ආශාවෙන් යුතු නුවණැති මිනිසුන් මහමෙව්නාව වටා රොක් වීම පුදුමයක් නොවෙයි. අප ආශා කළ යුත්තේ බුදුරජුන් වදාළ සත්‍යයට පමණි. ඒ බුදුරජුන්ගේ ධර්මයට අප යම් තාක් ගරු කරයි ද, පුද පූජා පවත්වයි ද, ධර්මයට ගෞරව දක්වයි ද, ඒ ධර්මයට අනුව ජීවිතය විමසා බලයි ද, ජීවිතය හසුරුවයි ද, සත්‍ය සෙවීමේ ආශාවෙන් යුතු මිනිසාට එය හොඳට ම සෑහේ. මක් නිසාද යත් සත්‍යය යනු බුදු දහමයි.

මහමෙව්නාව වටා එක්වන ඔබ සියලු දෙනාම මම මෙත් සිතින් පිළිගනිමි. අපගේ දහම් සේවාව තුළ කිසිදු ජාති භේදයක් නැත. භාෂා භේදයක් නැත. වර්ණ භේදයක් නැත. ආගම් භේදයක් නැත. ඕනෑම කෙනෙකුට බුදුරජුන්ගේ සත්‍යය විවෘතව ඇත. එම සත්‍යය තේරුම් ගැනීම පිණිස ඔබ බුද්ධිමත් නම් ඒ ධර්මය තිබෙන්නේ ඔබ සඳහා ය. ඔබේ යහපත හා සැපය සඳහා ය. එනිසා අප සියලු දෙනා එම සත්‍යය වටා රොක් වෙමු. ඉගෙන ගනිමු. ධාරණය කරගනිමු. තේරුම් ගනිමු. ඒ අනුව ජීවත් වෙමු. ලොවට බෙදා දෙමු. එය මේ යුගයේ අප සතු උත්තරීතර කාර්යභාරයයි. ඔබට බුදුරජාණන් වහන්සේගේත්, ධර්මයේත්, ආර්ය සංඝයාගේත්, කල්‍යාණමිත්‍රයන්ගේත්, සියලු දෙවියන්ගේත් ආශිර්වාදය ලැබේවා!

~පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ~